Monday 2nd of February 2026

English Tamil
Advertiesment


සංචිත මුදල් සැපයුම සහ මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්


2026-02-02 1229

 

පසුගිය (2025) වසර අවසන් වෙද්දී මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 712.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 2,298.5කට සමානයි. ශුද්ධ විදේශ වත්කම් යන්නෙන් අදහස් වන්නේ මහ බැංකුව සතුව ඇති දළ විදේශ වත්කම් වලින් මහ බැංකුවේ විදේශ බැරකම් අඩු කළ පසු ශේෂයයි.

පෙර (2024) වසර අවසන් වෙද්දී මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 222.1ක් වූ අත්ර අතර එය ඩොලර් මිලියන 759.3කට සමාන මුදලක්. ඒ අනුව 2025 වසර තුළ මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 1,539.2කින් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසර තුළ මහ බැංකුවේ දළ නිල සංචිත ඉහළ යාම ඩොලර් මිලියන 734ක් පමණයි. ඒ අනුව පෙනී යන්නේ දළ නිල සංචිත ඉහළ යාමට අමතරව මහ බැංකුවේ විදේශ බැරකම් වලද සැලකිය යුතු අඩු වීමක් සිදු වී ඇති බවයි.

ආර්ථික අර්බුදය ඇති වීමට දෙවසරකට පෙර, 2020 පෙබරවාරි මාසය වන විට මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම, එනම් මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු රුපියල් ප්‍රමාණය, බිලියන 963.3ක්. ඒ වන විට මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයේ රුපියල් වටිනාකම බිලියන 971.0ක්.

මෙයින් අදහස් වන්නේ යම් හෙයකින් මහ බැංකුව විසින් ඒ දක්වා නිකුත් කර තිබුණු රුපියල් සියල්ලම ආපසු ලබා ගෙන ඒ වෙනුවට ඩොලර් ලබා දීමට අවශ්‍ය වුවද එය කළ හැකි තරම් විදේශ වත්කම් ප්‍රමාණයක් මහ බැංකුව සතුව ඒ වන විට තිබුණු බවයි. ශ්‍රී ලංකා රජය කාලයක් තිස්සේම ණය ගොඩ ගසාගෙන හිටියත් මහ බැංකුව ඒ වන විටද ස්ථාවර තත්ත්වයක සිටියා.

සංසරණයේ ඇති මුදල් සියල්ල මහ බැංකුව විසින් ආපසු ලබාගෙන ඒ වෙනුවට ඩොලර් ලබා දීම තනිකරම මනඃකල්පිත අදහසක් වුවත්, එවැනි හැකියාවක් තිබීම යන්නෙන් අදහස් වන්නේ රුපියලට ශක්තිමත් හා ස්ථාවර පදනමක් ඇති බවයි. එය රන් සම්මතයකට තරමක් සමාන තත්ත්වයක්. ඊට හේතුව එවැනි ස්ථාවර තත්ත්වයක් ඇත්නම් ඩොලර් වෙනුවට රන් සංචිතම වුවද පවත්වා ගත හැකි වීමයි.

ආර්ථික අර්බුදයට පෙර මෙම ශක්තිමත් පදනම ක්‍රමක්‍රමයෙන් දුර්වල වුනා. රජයේ ආර්ථික පදනම කාලයක පටන්ම දුර්වල වෙමින් පැවතියත්, මහ බැංකුවේ ස්ථාවරත්වය මේ ආකාරයෙන් දුර්වල වූයේ පළමු වරටයි. විණිමය අනුපාතය නොවෙනස්ව තබා ගැනීම සඳහා රටේ විදේශ සංචිත විකිණීම සහ අනෙක් පැත්තෙන් රුපියල් සැපයුම වැඩි කිරීම (සල්ලි අච්චු ගැසීම) හේතුවෙන් 2021 ජූලි මාසය වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ අතට හැරුණා.

ශුද්ධ විදේශ වත්කම් සෘණ අතට හැරුණු පසුවද විණිමය අනුපාතය නිදහස් කිරීමක් සිදු වූයේ නැහැ. ඒ වෙනුවට සිදු වුනේ චීනයෙන්, ඉන්දියාවෙන් මෙන්ම බංග්ලා දේශයෙන්ද ණය ගනිමින් විණිමය අනුපාතය නොවෙනස්ව පවත්වා ගනු ලැබීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංචිත මුදල් සැපයුම මෙන් දෙගුණයකයත් වඩා වැඩි රුපියල් ප්‍රමාණයක් සංසරණයට එකතු වුනා. සංචිත මුදල් සැපයුම අඩුවෙන් පෙනුණේ එසේ එකතු කළ රුපියල් වලින් අඩක් පමණ මහ බැංකුව විසින් නැවතත් ණයට ගත් ඩොලර් සමඟ හුවමාරු කරගත් නිසයි. ඒ අනුව, මෙය මහ බැංකුව විසින් එක වර රුපියල් මෙන්ම ඩොලර්ද වෙළඳපොළට නිකුත් කිරීමක් සේ සැලකිය හැකියි.

පසුව මහ බැංකුව විසින් සිය ස්ථාවරය වෙනස් කර විදේශ වත්කම් ක්‍රමයෙන් ඉහළ දමා ගත් නමුත් 2024 ඔක්තෝබර් මාසය වන තුරුම මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් නැවත ධන අතට හැරුනේ නැහැ. මේ වන විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වී ඇතත්, දැනටද මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය සංචිත මුදල් සැපයුමෙන් 39.7%ක් පමණයි. 2020දී පැවති ස්ථාවරත්වය නැවත ඇති කරගැනීමටනම්, අවම වශයෙන් තවත් ඩොලර් බිලියන 3.5ක පමණ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් එක්රැස් කර ගැනීමට සිදු වෙනවා.

ඉදිරි දෙවසර තුළදීද සැලකිය යුතු ජංගම ගිණුම් අතිරික්තයක් පවත්වා ගතහොත්, 2028 වන විට මෙම ස්ථාවරත්වය ලඟා කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. එසේ කළ හැකිනම්, 2028 වසරේදී ණය ආපසු ගෙවීම සඳහා නැවතත් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙම (2025) වසරේ ජංගම ගිණුම් අතිරික්තයට නොඅඩු (ඩොලර් බිලියන 2ක පමණ) ජංගම ගිණුම් අතිරික්තයක් 2026 හා 2027 වසර වලදීද පවත්වා ගන්නා අතර, සංචිත මුදල් සැපයුමේ වර්ධනයට අනුපාතිකව ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ හරින්නේනම් මේ ඉලක්කයට යා හැකියි.

ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සඳහා මුදල් සැපයුමේ යම් වර්ධනයක් අවශ්‍යයි. එහෙත් මුදල් සැපයුම ඕනෑවට වඩා වැඩියෙන් වර්ධනය වේනම් ඊට අනුරූපව ඩොලරයක මිලද ඉහළ යාමට ඉඩ සලස්වන්න වෙනවා. වෙනත් විදිහකට කිවුවොත්, ඩොලරයක මිල පාලනය කිරීමටනම් මුදල් සැපයුම පාලනය කර උද්ධමනය පාලනය කරන්නට සිදු වෙනවා. අවසාන වශයෙන් මෙය මුදල් සැපයුම, ඩොලරයක මිල, ජංගම ගිණුම් ශේෂය සහ ආර්ථික වර්ධනය ඇතුළු සියලු සාර්ව ආර්ථික විචල්‍ය වල ප්‍රශස්ත තුලනයක් පවත්වා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. රජය විසින් ඊළඟ වටයේදී මහ බැංකුවේ උද්ධමන ඉලක්කය 4% දක්වා අඩු කළහොත් මේ ස්ථාවරත්වය ලබා ගැනීම වඩා පහසු වෙනවා.

 

(ඉකොනොමැට්ටා)
Advertiesment